ග'නූ/ලිනක්ස් වලට පිවිසුමක්

අනුරාධ රත්නවීර විසිනි

පටන් ගැන්ම

"රජතුමනි, මා කොතැනින් පටන් ගන්න ද?", සුදු හාවා ඇසීය.

"පටන් ගන්නා තැනින් පටන් ගෙන අවසානය දක්වා යන්න. ඉන්පසු නවතින්න.", රජතුමා බැරෑරුම් ලෙස පිලිතුරු දුන්නේය.

-- ඇලිස්ගේ විශ්මලන්තය (ලුවී කැරොල්, 1865)

ග'නූ/ලිනක්ස් ඉගෙන ගැනීමට හොඳම මග කුමක්ද?

ග'නූ/ලිනක්ස් ඉගෙන ගැනීමට එය දිනපතාම භාවිතා කිරීම තරම් හොඳ මගක් තවත් නැත. මූලික කරුණු කිහිපයක් දැන ගත් පසු, ග'නූ/ලිනක්ස් පද්ධතියක් භාවිතා කිරීම ඉතාම පහසුයි. එම කරුණු හැකිතාක් දුරට කැටි කර ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

කටුව (shell)

කටුව භාවිතා කිරීමට දැන ගැනීම ග'නූ/ලිනක්ස් ඇතුළු සියලුම යුනික්ස් වර්ගයේ පරිගණක පද්ධති භාවිතයේ වැදගත් අංගයකි. කටුවට පිවිසුනු විට, එය ප්‍රේරකයක් (prompt) ඉදිරිපත් කර අණක් බලාපොරොත්තුවෙන් සිටියි. බොහෝ විට, ප්‍රේරකය ඩොලර් ලකුණක් ($) වන අතර සමහරු ප්‍රතිශත ලකුණ (%) ඒ සඳහා යොදා ගනී. මෙම ලිපිය තුල අප භාවිතා කරන්නේ ප්‍රතිශත ලකුණයි.

%

එක අකුරකට වඩා දිගින් වැඩි ප්‍රේරක ද බොහෝ විට භාවිතා වේ. පරිගණකයේ නම, සිටින නාමාවලියේ නම වැනි විස්තර පහසුවෙන් බලා ගැනීම සඳහා ප්‍රේරකයේ ඇතුලත් කිරීම එයට හේතුවයි.

anuradha@penguin:~$
කටුවෙහි කල හැකි සරල කාර්ය කිහිපයක් දෙස බලමු. සෑම අණකටම පසු Enter යතුර එබීමට මතක තබා ගන්න!

මුරපදය (password) වෙනස් කිරීම

වෙනත් කෙනෙකුට සිතා ගැනීමට අපහසු මුරපදයක් භාවිතා කිරීමෙන් ඔබගේ පරිගණක පද්ධතියට වෙනත් කෙනෙකු අනවසරයෙන් ඇතුළු වීමට ඇති ඉඩ අවම කරගත හැක. එය විටින් විට වෙනස් කිරීමෙන්, එම ආරක්ෂාව තවත් දැඩි කරගත හැක. ඒ සඳහා passwd අණ භාවිතා කරන්න.

passwd අණ ක්‍රියාත්මක කල විට, එය ඔබගේ පැරණි මුරපදය ඉල්ලා සිටියි. වෙනත් කෙනෙකු මුරපදය දැකීම වැලැක්වීම සඳහා එය තිරයේ දර්ශණය නො කෙරේ. ඉන්පසු නව මුල් පදය දෙවරක් ඇතුල් කල යුතුයි. එය ද තිරයේ දර්ශණය නො කරන නිසා, දෙවරක් ඇතුලු කිරීමෙන්, වරදක් සිදු වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩු වේ.

% passwd
Changing password for anuradha
(current) UNIX password:
New UNIX password:
Retype new UNIX password:
%    

ගොනු (files)

ගොනුවක් සෑදීමට ඇති පහසුම ක්‍රමය touch අණ භාවිතා කිරීමයි. උදාහරණයක් ලෙස, abc නම් ගොනුවක් සෑදීමට:

% touch abc
%    

ගොනු වල ලැයිතුවක් ලබා ගැනීමට ls අණ භාවිතා කරන්න. එය ඉංග්‍රීසි list යන වචනයෙහි කෙටි යෙදුමකි.

% ls
abc
%    

දැන් අපි තවත් ගොනුවක් සාදා බලමු:

% touch xyz
% ls
abc  xyz
%    

ගොනුවක් මැකීමට rm අණ භාවිතා කරන්න. එය ඉංග්‍රීසි remove යන්නට කෙටි යෙදුමකි.

% rm xyz
% ls
abc
%